responsive site templates

විභාග අත්වැල 

Home  >   [Technical Corner]  >   Exam Support
මෝටර් රථ  වෘත්තියට අදාලව පැවැත්වෙන විභාග සහ පරීක්ෂණ වලදී ඔබට වැදගත්  වන විෂයානු බද්ද කරුණු සහ වෙනත් වැදගත්  කරුණු ඔබට ලබා දීම සඳහා  මෙම පිටුව  සැකසී ඇත. ඔබේ අවශ්‍යතාවය අනුව මෙහි අන්තර්ගත්ය වෙනස් කිරීමට හැකියාව ඇත. එවැනි අවශ්‍යතා පිලිබඳ අපව දැනුවත් කිරීම මගින් අදාළ තාක්‍ෂණික ලිපි පළකරවා ගැනීමට ඔබට අවස්ථාව ඇත. ඒවැනි ඉල්ලීම් infoarc@autorclk.com වෙත හෝ Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න

Automobile Mechanic
NVQ 4

මෝටර් රථ කාර්මික ශිල්පී NVQ 4

Automobile Electrician
NVQ 4

මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී NVQ 4

NVQ Assessment

NVQ පරීක්ෂණයේ දී ඔබ ... 

NVQ විභාගය සඳහා සුදානම් වන ඔබට වැදගත් කරුණු

NVQ ඇගයීමට අදාල නිපුණතා සම්මත

මේ සඳහා පළමුව කළ යුත්තේ TVEC මඟින් වෘත්තියට අදාළ ජාතික නිපුණතා සම්මතයන් (NVQ Standard) ලබා ගැනීමයි. නිපුණතා සම්මතයන් යනු ඒ ඒ වෘත්තීයට අනුව ඔබ හැදෑරිය යුතු සිද්ධාන්තික කරුණු සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් දැක්වෙන විෂය නිර්දේශය යි.(Syllabus).
 ඕනෑම වෘත්තීයක් සඳහා NVQ සහතිකය ලබා දෙන්නේ නම් මෙම විෂය නිර්දේශය හෙවත් නිපුණතා සම්මතයන් සකසා තිබීම අනිවාර්ය වේ. මෙය සැකසීම සිදු කරනු ලබන්නේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මගිනි. මෙම විෂය නිර්දේශය ඒකක (UNIT) සහ මොඩියුල (MODULE) වලින් සමන්විත වේ. ඔබේ වෘත්තීය අනුව සහ එම වෘත්තීයේ NVQ මට්ටම අනුව නිපුනතා සම්මතයේ අදාළ එකක සහ මොඩියුල ගණන වෙනස් වේ.  
මෙසේ සැකසු විෂය නිර්දේශය ඔබගේ පාඨමාලාව හදාරන කාලය අතරතුරදීද පරිශීලනය කල යුතු වේ. ඔබ ලබා ගැනීමටඅවශ්‍ය වෘත්තීය සුදුසුකමට අවශ්‍ය නිපුණතාවයන් එහි දැක්වෙන අතර එම නිපුණතාවයන් ලබා ඇති බව තහවුරැ කිරීම සඳහා සාක්ෂි ඔබ විසින් ඇගයීමේදී පරීක්ෂක වරුන්ට ඉදිරිපත් කල යුතු වේ.   
ඔබ NVQ විභාගය සඳහා ඉල්ලුම් කරන්නේ නම් මෙම නිපුණතා සම්මතයන් පිලිබඳ හොද අවබෝදයක් තිබිය යුතු අතර NVQ සහතිකය ලබා දෙන යම්කිසි පුහුණු ආයතනයක් මගින් පුහුණුව ලැබීමේදී එම ආයතනය ඔවුන්ගේ පාඩම් මාලාව නිපුණතා සම්මතයන් අනුව පෙළ ගස්වා තිබිය යුතුය.

NVQ ඇගයීමක් සඳහා ඉල්ලුම් කිරීම

RPL ක්‍රමය සඳහා NAITA ආයතනයේ NVQ අංශයට ඔබ විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඇගයුම්කරුවන් / පරීක්ෂක වරුන් පත් කෙරේ.එහිදී ඇගයීම් ගාස්තු NAITA ආයතනයෙන් දන්වනු ලබන අතර එය ඔබ විසින් දැරිය යුතු වේ. 
පුහුණු ආයතනයක් හරහා NVQ සහතිකය ලබා ගැනීමේදී එම ආයතනය විසින් ඔබගේ පුහුණුව නිම වීමට ආසන්න වීමත් සමග NAITA ආයතනයට හෝ TVEC ආයතනයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඇගයුම්කරුවන් / පරීක්ෂක වරුන් පත් කෙරේ. මෙහිදී ඇගයුම් ගාස්තු අදාළ පුහුණු ආයතනය විසින් දරනු ලැබේ.

NVQ ඇගයිමේ පියවර

1. ඉල්ලුම් පත් ලැබීමෙන් අනතුරුව NAITA හෝ TVEC විසින් ඔබගේ නිපුණතාවයන් ඇගයීම සඳහා අවම වශයෙන් ඇගයීම් නිලධාරින් දෙදෙනෙකු පත් කරනු ඇත. 
මෙම ඇගයීම කොටස් දෙකකින් යුක්ත වන අතර ඒවා පෙර ඇගයීම (Pre Assessment) සහ පසු ඇගයීම (Post assessment) ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. පළමුවෙන් පැවැත්වෙන්නේ පෙර ඇගයීමයි.
2. ඉන්පසු ඇගයීම් නිලධාරියා හෝ නිලධාරින් විසින් පෙර ඇගයීම සඳහා ඔබට කැඳවීමක් කරනු ඇත.ඔබ පුහුණුව ලැබුවේ පුහුණු ආයතනයක් හරහා නම් මෙම කැඳවීම ඔබේ පුහුණු ආයතනය හරහා ලැබෙනු ඇත. ඔබ RPL ක්‍රමය හරහා අයදුම් කරනු ලැබුවේ නම් ඔබට පුද්ගලිකව මෙම දැනුම් දීම ලැබෙනු ඇත. මේ සඳහා ස්ථානයක්, වෙලාවක් සහ දිනයක් ඔබට ලැබෙනු ඇත.

පෙර ඇගයුම (Pre Assessment)

3. පෙර ඇගයුම තුලදී මූලිකව සොයා බැලෙන්නේ ඔබ අවසන් පරීක්ෂණය සඳහා සුදුසුද යන්න වේ. මේ සඳහා ඔබ පහත දේ ඉදිරිපත් කල යුතු වේ. එනම්,


  • ඔබ පුහුණුව ලැබූ කාලය තුල ලබා ගත් නිවාඩු වාර්තා 
  • ඔබේ ජාතික හැඳුනුම් පත / රියදුරු බලපත්‍රය  
  • නිසි ලෙස සම්පූර්ණ කර ඇති ප්‍රගති වාර්තා 
  • වාර්තා සටහන් / ඔබේ සටහන් පොත් 
  • ඔබ ලබා ගත් ප්‍රගතිය දැක්වෙන ව්‍යාපෘති වාර්තා 
  • ප්‍රයෝගික පුහුණුව ලැබූ ආයතනෙන් ලබා දෙන පුහුණුව සනාථ කිරීමේ ලිපි
  • ඔබ සිද්ධාන්තික පුහුණුව ලැබූ ආයතයේ පැමිණීමේ සටහන්  
මෙහිදී පරික්ෂාවට ලක් කෙරේ. ඇගයීම් නිලදාරියා හෝ නිලදාරීන් මේ පිලිබඳ සෑහීමකට පත් නොවන විටදී ඔබේ අවසන් ඇගයීම නොපවත්වා සිටීමට ඔවුන්ට බලය ඇත. එබැවින් ඉහත දේ මනාව සම්පූර්ණ කර තිබීම ඔබේ අවසන් ඇගයුම පැවැත්වීමට අතවශ්‍ය වේ.
4. ඉන්පසු ඇගයීම් නිලධාරින්ගේ සහ ඔබගේ එකඟතාවය මත අවසන් ඇගයීමට පහසු දිනයක්/ වෙලාවක් සහ ස්ථානයක් ඔබට දැනුම් දෙනු ලබන අතර ඔබ එම දිනයට පරීක්ෂණය සඳහා සූදානම් ව පැමිණිය යුතු වේ.  

අවසන් ඇගයුම (Post Assessment)

5. මෙම දිනයට ඔබ ඔබේ පුහුණුවට අදාළ සියලුම ලිපි ලේඛ්නයන් සහ ඇගයුම් නිලදාරීන් නිර්දේශ කරන ඇගයුමට අදාළ වෙනත් ලිපි ලේඛ්නයන් ඔබ රැගෙන ආ යුතු වේ. එනම්,

  • ඔබ පුහුණුව ලැබූ කාලය තුල ලබා ගත් නිවාඩු වාර්තා 
  • ඔබේ ජාතික හැඳුනුම් පත / රියදුරු බලපත්‍රය  
  • නිසි ලෙස සම්පූර්ණ කර ඇති ප්‍රගති වාර්තා 
  • වාර්තා සටහන් / ඔබේ සටහන් පොත්
  • ඔබ ලබා ගත් ප්‍රගතිය දැක්වෙන ව්‍යාපෘති වාර්තා 
  • ප්‍රයෝගික පුහුණුව ලැබූ ආයතනෙන් ලබා දෙන පුහුණුව සනාථ කිරීමේ ලිපි
  • ප්‍රයෝගික පරීක්ෂණය සඳහා ඇදුම් කට්ටලයක්

6. ඉන්පසු ඇගයීම් නිලධාරින් ඔබේ නිපුණතාවය පිළිබඳ සාක්ෂි,ලිපි ගොනු පරීක්ෂා කිරීම,ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා සාක්ෂි ප්‍රබල නොවන අවස්ථාවලදී ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවත්වීම සිදු කරනු ඇත.

7. අනෙකුත් විභාග මෙන් නොව මෙහිදී ඔබේ ඇගයුම අවසානයේ පරීක්ෂක වැරුන් ඔබ ලබා ඇති නිපුණතා මට්ටම (NVQ Level) ඔබට දැනුම් දෙනු ඇත. ඔබ අපේක්ෂා කල NVQ මට්ටම ඔබට ලබා ගැනීමට නොහැකි වුනි නම් ඒ සඳහා බලපෑ හේතු සහ ඔබ නැවතත් විභාගය සඳහා ඉල්ලුම් කිරීමට පෙර ඔබ නිවැරදි කර ගත යුතු දේ සහ දියුණු කරගත යුතු විෂය කොටස් ප්‍රයෝගික කොටස් පිලිබඳ ඔබව දැනුවත් කෙරෙනු ඇත.  

NVQ ඇගයීමේදී ඔබ,

  • ඔබේ ඇගයුම් කරුවන් පැමිණ සිටින්නේ ඔබේ කුසලතාවයන් පරික්ෂා කිරීමට සහ එම කුසලතාවයන්ට අනුකූලව ඔබට NVQ සහතිකයක් ලබාදීමට බැවින් සෑම විටම පරීක්ෂක මහතුන්ගේ උපදෙස් පිළිපදින්න.
  • පරීක්ෂක මහතුන් හට සෑම විටම ඔබේ කැපවීම සහ උනන්දුව ප්‍රදර්ශනය කල යුතුවේ. 
  • ඔවුන් අසන ප්‍රශ්න වලට නිවැරදි සහ සෘජු පිළිතුරු සැපයීම වඩාත් සුදුසු වන අතර යමක් විස්තර කිරීමට ඔබෙන් අසන විටදී ප්‍රමාණවත් විස්තරයක් සැපයීම අතවශ්‍ය වේ.
  • සෑම පරීක්ෂක වරයෙකුම අදාළ වෘත්තීය පිලිබඳ හසල දැනුමක් සහ පරීක්ෂණය මෙහෙය වීම පිලිබඳ ඉහල පුහුණුවක් ලබා ඇති අතර ඔබ සෑම විටම ඔවුනට අවනත වීම සහ ඔවුන් හට ප්‍රමාණවත් ගරුත්වයක් ප්‍රදර්ශනය කල යුතු වේ. 
  • ඇගයීම් නිලධාරින් ඔබේ නිපුණතාවය තහවුරු කර ගැනීමට ඒ පිළිබඳ සාක්ෂි,ලිපි ගොනු පරීක්ෂා කිරීම,ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවත්වීම සිදු කරනු ඇත. මෙහිදී ඔබ යම් විෂය කොටසක් ගැන ප්‍රමාණවත් කුසලතාවයක් ප්‍රදර්ශනය නොකළ හොත් ඔවුන් ඊලගට යොමු වන්නේ ඔබ පුහුණුව ලැබූ කාලය ඒ ඒ විෂය කොටස් තුල තුල ප්‍රදර්ශනය කල ප්‍රගතියයි. මේ සඳහා ඔවුන් 

1. නිසි ලෙස සම්පූර්ණ කර ඇති ප්‍රගති වාර්තා 
2. වාර්තා සටහන් 
3. ඔබ ලබා ගත් ප්‍රගතිය දැක්වෙන ව්‍යාපෘති වාර්තා
4. ඔබේ සටහන් පොත්
පරික්ෂා කරනු ඇත. එබැවින් ඉහත දේ මැනවින් සම්පූර්ණ කර තිබීම ඔබට වාසි දායක වනු ඇත.
  • සෑම විටම කඩිසර බව සහ පිරිසුදු බව පවත්වා ගත යුතුය.
  • ඔබේ ආකල්ප සහ චර්යා රටා යහපත්ව තබා ගත යුතු වේ.

 ඔබ අපේක්ෂා කල NVQ මට්ටම ඔබට ලබා ගැනීමට නොහැකි වුනි නම් ඒ සඳහා බලපෑ හේතු සහ නිවැරදි කර ගත යුතු දේ සහ දියුණු කරගත යුතු විෂය කොටස් ප්‍රයෝගික කොටස් පිලිබඳ ඔබව දැනුවත් කෙරෙනු ඇත. එමෙන්ම ඔබේ දුර්වල තාවයන් පිළිබඳව පරීක්ෂක මහතුන්ගෙන් විමසා දැනුවත් වීමට ඔබට සෑම විටම අවස්ථාව ඇත.

 ලබා ගත් NVQ මට්ටම අනුව දෙවන වර විභාගය ඉල්ලුම් කිරීමේදී ඔබ පළමු වර සම්පූර්ණ කල විෂය කොටස් නැවත කිරීමක් අවශ්‍ය නොවේ. මේ පිළිබඳව ඔබට පරීක්ෂක මහතුන් ගෙන් විමසා සිටිය හැක.